ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ රංගාරෙඩ්ඩි දිස්ත්‍රික්කයේදී බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුවී තිබෙනවා.
එරට වාර්තා පැවසුවේ තෙලන්ගානා රාජ්‍ය මාර්ග ප්‍රවාහන සංස්ථාවට අයත් බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
මෙම අවාසනාවන්ත සිද්ධිය හයිද්‍රාබාද්-බිජාපූර් අධිවේගී මාර්ගයේ, හයිද්‍රාබාද් සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි මීර්සාගුඩා අසලදී එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ සිදුවී තිබෙනවා.
තන්දූර් සිට හයිද්‍රාබාද් බලා ගමන් කරමින් තිබූ බස් රථයේ, මුළු මගීන් 70ක් පමණ සිටි බවයි වාර්තා වන්නේ.
බසය විකාරාබාද් වෙත ළඟා වනවිට බසය පිරී තිබූ අතර, මගීන් කිහිප දෙනෙකු සිටගෙන සිටි බවයි දිවි ගලවා ගත් අයෙකු ප්‍රකාශ කළේ.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කොන්ක්‍රීට් පටවාගත් ටිපර් ට්‍රක් රථයක් බස් රථයේ ගැටී තිබෙනවා.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන පරිදි, ටිපර් රථය බසයේ ගැටෙද්දී එහි තිබූ සම්පූර්ණ ගල් කැබලි තොගය බසය තුළට වැටීම නිසා අනතුරේ බරපතලකම වැඩි වී තිබුණා.
මෙම ගැටීම හේතුවෙන් පළමු පේළි හයේ සිටි මගීන් තැලී යටවී මිය ගිය බව දිවි ගලවා ගත් මගියෙකු වැඩිදුරටත් පැවසුවා.
මියගිය 20 දෙනා අතර, බස් රථයේ මගීන් 18ක් සිටින අතර, ඔවුන් අතර කාන්තාවන් 10ක් ද වනවා. එසේම, අනතුරින් මියගිය අය අතර බස් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා ද සිටින බව සඳහන්.
විශේෂයෙන්ම, මියගිය අය අතර මාස 10ක් වයසැති බිළිඳියක් සහ ඇගේ මව ද සිටීම හද කම්පා කරවන සිදුවීමක්.
සිද්ධියෙන් තුවාල ලැබූ මගීන් කිහිප දෙනෙකු චෙවෙල්ලා හි රජයේ රෝහලට මාරු කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතල බව සඳහන්.
සුන්බුන් අතර සිරවී සිටි තුවාලකරුවන්ගේ හැඬුම් හඬ මධ්‍යයේ තුවාල ලැබූවන් මුදාගැනීමටත්, සිරුරු ඉවත් කිරීමටත් පොලිසියට සහ අනෙකුත් ගලවා ගැනීමේ නිලධාරීන්ට දුෂ්කර කාලයක් ගත කිරීමට සිදුවී තිබෙනවා. මේ සඳහා ජේ.සී.බී. යන්ත්‍ර තුනක් සේවයට යොදවා තිබෙනවා.
Please Wait
You will be redirected automatically in 5 seconds...
If you are not redirected, click here
Redirecting in 5 seconds... Click here if not redirected

0 Comments