Hot Posts

6/recent/ticker-posts

කුලියාපිටියේ බිහිසුණු පාසල් වෑන් අනතුරක්


කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුණි.

තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

කුලියාපිටිය පොලිසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවය.

මෙම අනතුර සිදුවී තිබුණේ අද උදෑසන 7ට පමණ ය.

පාසල් වෑන් රථය දුම්මලසූරිය ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා පැමිණ තිබුණි.

වැලි පැටවූ ටිපර් රථය ධාවනය කර තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට, වෑන් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවටය.

අනතුරත් සමග එම ස්ථානයට පැමිණි පොලිසිය සහ ජනතාව තුවාල ලැබූ සිසුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

ප්‍රතිකාර සඳහා ඔවුන් රැගෙන ගොස් තිබුණේ කුලියාපිටිය ශික්ෂණ රෝහලටය.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිසුවියන් 12 දෙනෙකු සහ සිසුන් තිදෙනෙකු සිට ඇති බව පොලිසිය පැවසීය. 

එහිදී මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12ත් 13ත් අතර වයස්වල පසුවන සිසුවියන් දෙදෙනෙකි. 

අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා වන්නේ වෑන් රථයේ රියැදුරු ය.

ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබුණි. 

අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනාගෙන් 9 දෙනෙකු මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට ද පියවර ගෙන ඇත.

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්.සී. වන්නිනායක මහතා සහ කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ සිසුන්ගේ සුවදුක් විමසා බැලීය. 

කුලියාපිටිය පොලිසිය පැවසුවේ, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බවය.

Please Wait

You will be redirected automatically in 5 seconds...

If you are not redirected automatically, click here.

Post a Comment

0 Comments